BUREAU OF THE COMMISSIONER GENERAL OF REHABILITATION
"MINISTRY OF PRISON REFORMS,REHABILITATION, RESETTLEMENT AND HINDU RELIGIOUS AFFAIRS"

ගිනි අවිය අතහැර දැමූ ශාන්ති කුමාර් ගෝකුලන් දේශීය සිනමාවට එක් වෙයි

තල් රුප්පාවට ඉහළ අහසේ හිරු පිබිදෙයි. තුන් මන්සලෙහි කොණක මාතර බේකරියේ පිට පලු බංකුවට වී මම බොහෝ වෙලා බලා උනිමි. තොන්ඩමනාරු හන්දියෙන් දකුණට දිවෙන උඩුපිඩ්ඩි දෙසට පේදුරුතුඩුවේ සිට පැමිණි වොක්ස්වැගන් රථය ඉගිළී ගියේ දූවිලි වියනක් මවමිනි.

මාතර බේකරියේ ගල් බනිසක රස විඳිමින් මම තල් වැටට ඉහළින් නිදහසේ ඉගිළී යන සියොත් රෑන දෙස බලා හිඳිමි. තවමත් මගේ අරමුණ නිම නැත. තොන්ඩමනාරු මන්සන්ධියේ නුහුරු නුපුරුදු ගුරු පාර දෙසින් පාපැදියකින් පැමිණි ඇය කුඩා දරුවනට මහඟු පාඩමක් කියා දෙන ගුරුවරියක වැනිය. ඇගේ ශාන්ත ගමනත්, සංහිඳියාව මෙන්ම පින්වත් බවත් ළහිරු කිරණට වඩා මේ ගමට ආලෝකයකි.

ඇගේ නම මධුවානි . . .

මාතර ඉපිද හැදී වැඩුණු ඈ යාපනයට පැමිණෙන්නේ තමාගේ සැමියා සමඟය. සැමියාගේ වියෝවෙන් යාපනය අතැර නොයන මේ දිරිය කත ගෙවන ජීවිතය සැබෑම පූර්වාදර්ශයකි.

ඈ අපට හමු වන්නේ සෙල්වම් හරහාය.

සෙල්වම් නම් වන අලුත්ම සිනමා නිර්මාණය හරහා අපට හමු වන ඇය කවදත් සිංහල සිනමාවට සඳ කිරණක් වන අපේ නිළි රැජණයි. එසේත් නැතිනම් ආදරණීය මාලිනියයි.

මාලිනියගේ සොඳුරු රංගනයෙන් ඔපවත් වන සෙල්වම් මේ මොහොතේ තැනෙන්නේ උතුර කේන්ද්‍ර කොට ගනිමිනි. සෙල්වම් නම් දරුවකුගේ අනුවේදනීය, කුතුහලය දනවන මෙන්ම තීරණාත්මක කතා පුවතක් හරහා ගලා යන මෙම සිනමා නිමැවුම ජීවිතය, නිදහස, සාමය මෙන්ම යුද්ධයෙන් පසුව පිබිදෙන උතුර දෙස ආදරණීය ඇසකින් බැලීමකි.

සෙල්වම් ඇරැඹෙන්නේ අපේ රටේ සුවිශේෂ පිටුවක් තමා වෙනුවෙන්ම වෙන් කර ගනිමිනි. වසර තිස් දෙකක සාප ලත් යුද්ධයෙන් බැට කෑ, ඒ මත ඇඳි අඳුරු සෙවණැලි සමඟ පොර බැදූ යුගය නිමා කොට අපේ රටට නැවතත් නිදහසේ ප්‍රාණ වායුව එන්නත් කිරීමෙන් පසුව උතුර මූලික කොට ගෙන තැනෙන සෙල්වම් රූගත වන්නේ ඉතාමත් සුවිශේෂ දර්ශන තල කේන්ද්‍ර කොට ගනිමිනි.

එල්. ටී. ටී. ඊ සංවිධානය පිහිටුවා ගැනීමේ පළමු පියවර ඇරැඹුවේ තොන්ඩමනාරු ගම්මානයෙනි. මෙම සුවිශේෂ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ඇරැඹුණේ තොන්ඩමනාරු ගම්මානයෙනි. ප්‍රභාකරන්ගේ ගම් ප්‍රදේශය ලෙස සැලකෙන වැල්වෙටිතුරෙයි සහ ඒ අපට පෙර නොදුටු දර්ශන තල සෙල්වම් සඳහා යොදා ගෙන තිබෙයි.

වසර තිස් දෙකකට පසුව රූගත කිරීමක් සඳහා යාපනයට පැමිණි මේ ප්‍රවීණයන් පිරිස දකින්නට මේ වන විට උතුරේ ජනතාව සිටින්නේ බලාපොරොත්තු පෙරදැරි දෑසිනි. යුද්ධය නම් අඳුරු වලාපටලය වියැකී ගිය කළ අලුත් ඉරෙහි එළිය දුටු උතුරේ වැසියෝ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ලබා දෙන මෙහෙය අති මහත්ය.

සෙල්වම් නම් දෙමළ ජාතික තරුණයාගේ කුඩා කාලය මවනු ලබන්නේ ඩැනී අභිසේෂ්ය. ඔහුගේ තරුණ විය රිදී තිරය මත සිත්තම් කරමින් ශාන්ති කුමාර් ගෝකුලන් හෙළ සිනමාව සමඟ අත්වැල් බැඳ ගනී.

ගෝකුලන් ගැන වෙනම යමක් කතා කළ යුතුමය. මීට වසරකට ඉහත දී ගෝකුලන්ගේ දෑතෙහි රැඳුණේ ඒ. කේ. 47 ගිනි අවියකි. දෑසේ රැඳී තිබුණේ ජාතිවාදී වෛරයේ ගිනි පුළිඟුවකි.

එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායකයන් සමඟ ළඟින්ම ඇසුරු කළ ගෝකුලන් සංවිධානයේ ප්‍රබලතම සාමාජිකයකු වී සිටියේය. නමුත් පුනරුථාපනයෙන් පසුව ගෝකුලන්ගේ දෑතට ලැබුණේ පොතකි.

දෑස සතුටු කඳුලින් පිරී ගිය අතර දෙතොලඟ සිනාහ මලක් ද පීදුණේ මේ සාපරාධී යුද්ධය නිමාවට පසුවය. දැන් ගෝකුලන් නළුවෙකි. හෙළ නිළි රැජණ, සිංහල සිනමාවේ පතාක යෝධයකු වන ජෝ අබේවික්‍රම වැනි දැවැන්ත ප්‍රතිරූප සමඟ කරට කර රංගනයේ යෙදීම ඒ නළුකමට තවත් වටිනාකමක් එක් කොට තිබේ.

සෙල්වම් හරහා රිදී තිරයට පැමිණෙන ඔහු පුනරුත්ථාපනය වී පැමිණි එදා එල්. ටී. ටී. ඊ සංවිධානය සමඟ ගනුදෙණු කළ ප්‍රබලයෙකි.

මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සංජය ලීලාරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, චන්දික නානායක්කාර, සඳුුනි ෆොන්සේකා, විමල් කුමාර ද කොස්තා, නඩරාජා සිවම්, අනුරුද්ධික දිල්රුක්ෂි සහ ශලනි තාරකා මෙන්ම ළමා නළු ඩැනී අභිසේෂ්, බිතුම් චබී සහ ළමා නිළි සසඳි නුවන්ගා සෙල්වම් රංගනයෙන් සරසති.

සංජය ලීලාරත්නගේ අදියුරුවමින් ජීවය ලබන සෙල්වම් හි කැමරාකරණය ජයනාත් ගුණවර්ධනගෙනි. වේෂ නිරූපණ කටයුත්ත රංජිත් වික්‍රමසිංහගේ හුරු පුරුදු දෑතින් සිදු වෙයි.

අපේ හමුදාවන් සහ උතුරේ ජනතාව අතර ද ඇති දැන් සබඳතාවය ගැන කතාබහට ලක් වන සෙල්වම් ඉතාමත් ඉහළ තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් නිම වෙයි.

මේ මොහොත වන විට ද සෙල්වම් වෙනුවෙන් වෙහෙසෙන පිරිස ගණනය කිරීම අපහසු කටයුත්තකි. සෙල්වම් එසේ තැනෙද්දී වියළි සුළං රැල්ලට මැදි වූ දූවිලි වලා වියන් යටින් නැවතත් ඈ පා පැදිය පැද යන්නේ පේදුරුතුඩුව දෙසටයි.

පා පැදිය ඇයට දැන් තරමක් නුහුරු එකක් බව පෙනෙයි. ඈ නැවත ගිමන් හරිමින් මාතර කඩේ තල් කොට බංකුව මත හිඳ ගනී. මේ මොහොතේ ඈ සමග කතා නොකරම බැරිය.

‘මාලිනී අක්කේ, අද යාපනේ ගැන මොනවද හිතෙන්නේ? මම අසමි.

‘ඇත්තටම දැනෙන්නේ කියලා නිම කර ගන්න බැරි සෙනෙහසක්. ඒ සෙනෙහසේ සිතිවිලි ඇතුළෙ තිබෙන නිදහස් සිතුවිලි සමුදාය වචනවලට පෙරළන්නට බැරි තරම් අමාරුයි.

82 අවුරුද්දේ මිහිඳුම් සිහින දමිල භාෂාවෙන් හඬ කවලා උතුරේ පෙන්නුවා. ඒ ගමනට ආවට පස්සේ මං යාපනේ ආවේ සෙල්වම් රූගත කිරීම් වෙනුවෙන්. මේ සාපරාධී යුද්ධය වෙනුවෙන් ගත වූ කාලයේ යාපනය සංවර්ධනය වුණා නම් අද තිබෙන්නේ කොතැනද කියල මට මේ මොහොතේ හිතෙනවා. ඒ වගේම එදා තිබුණු බොහෝ දේ අද විනාශ වෙලා.

නමුත් මේ කඩිනම් සංවර්ධන ක්‍රියා පිළිවෙත හරහා උතුර කඩිනමින් සංවර්ධනය වෙමින් පවතිනවා. මේ සුබදායී සිදුවීම් මාලාව නිර්මාණාත්මකව පෙන්වන්නට තමයි සෙල්වම් නිර්මාණය වෙන්නේ. ඇත්තටම සංජය මේ වෙනුවෙන් බොහෝ වෙහෙසෙනවා. හැමෝම එහෙමයි.

මම හිතනවා ලබන මාසයේ ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම් දමිල හඬ කැවූ චිත්‍රපටය යාපනයේ ප්‍රදර්ශනය වීමත් සමඟ අලුත්ම වෙනසක් ඇති වේවි කියලා.

ඈ සුන්දරව සිනාසුණි. දැන් ගොම්මනට ද ළඟය. මා සමුගෙන යා යුතුය. අඳුරු මතකයන් සොඳුරු සායමින් සරසන ‘සෙල්වම්’ ට සමු දී මා යා යුතුය.

‘සෙල්වම්’

ඔබේ ලෝකය ස්ථාවරයි.

Courtesy - Sarasaviya

Courtesy - Ethalaya